ආචාර්ය මැදවච්චියේ ධම්මජෝති හිමි
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
පාලි හා බෞද්ධ අධ්‍යයන ඒකකය,
කොළඹ විශ්වවිද්‍යාලය.
බුදු සමයේ ආරම්භය මුල් කාලීන ව්‍යාප්තිය හා එහි මධ්‍යතන යුගයේ දේශාන්තර ව්‍යාප්තිය පිළිබඳව සංක්ෂිප්ත වශයෙන් වුව ද අවබෝධ කර ගැනීම මෑත කාලීන බුදු සමයේ ජාත්‍යන්තර ව්‍යාප්තිය අධ්‍යයනය කිරීමේදී මහඟු පිටිවහලක් සැපයෙන බව පැවසිය යුතුය. 19 වැනි සියවසේ ශ්‍රී ලාංකේය ජාතික හා බෞද්ධ පුනරුදයේ හා තවත් බොහෝ හේතු සාධක මත බුදුÊසමය බටහිර ප්‍රචලිත වන ආකාරය පිළිබඳ පරීක්ෂා කර බැලීම මෙම ලිපියේ මුඛ්‍යාර්ථය වුවත් බුදු සමය දේශාටනකරණයේ ඓතිහාසික පසුබිම මඳක් විමර්ශනය කර බැලීම වඩාත් ප්‍රයෝජනවත් වේ. මහාවග්ගපාලිය වාර්තා කරන අන්දමට බුදු දහම මුලින්ම අවබෝධ කර ගනු ලබනුයේ පCඳ්ච වග්ගිය භික්ෂුන් වහන්සේ විසින් ය. ඉන් පසු බහුජන හිත සුව පිණිස ප්‍රථම ධර්ම දූත කණ්ඩායම ගම්, නියම්, දනව් සිසාරා ධර්ම ප්‍රචාරය කිරීමෙන් බුදු දහම ව්‍යාප්ත කරවීමේ මුල්ම පියවර තබන ලදී. ඉන් පසු බුදුරජාණන් වහන්සේ ද උරුවෙල් දනව්වට වැඩමවා උරුවෙල කාශ්‍යප, ගයා කාශ්‍යප, නදී කාශ්‍යප යන තුන්බෑ ජටිලයන් ප්‍රධාන දහසක් පිරිස දමනය කොට පැවිදි කරවා ධර්ම ප්‍රචාරය සඳහා පිටත් කර යෑවූහ. මුල් කාලීන ධර්මදූතයන් වහන්සේගේ අප්‍රතිහත ධෛර්යය, වාග් චාතුර්යය හා අපරිමිත කුසලතාව නිසාම ගිsහි පැවිදි විශාල පිරිසක් මෙම නව දහම වැළඳ ගත්හ. රාජ රාජ මහාමාත්‍යයන් පමණක් නොව ගොවි, කම්කරු ආදී සාමාන්‍ය ජනතාව ද විශාල වශයෙන් මෙම නවමු දර්ශනය හා ප්‍රතිපදාවෙහි අනුගාමිකයෝ වූහ. ගිහි ජනතාව බහුල වශයෙන් බෞද්ධ ආගමිකයන් වීම ශාසන ඉතිහාසයේ සුවිශේෂී සංසිද්ධියක් වශයෙන් පෙන්වා දිය හැකිය. එනම් මෙතෙක් නිර්වාණය ඒකායන අරමුණ කරගත් පැවිදි පිරිසකට පමණක් සීමා වී තිබුණු ශාසනය මෙලොව පරලොව උභයාර්ථ සාධනය අරමුණු කරගත් ගිහි පිරිසට ද ගැළපෙන සේ බෞද්ධ චින්තනය සකස් කර ගැනීමයි. ඒ අනුව සිඟාලෝවාද, ව්‍යග්ඝපඡ්ජ, පරාභව, පත්තකම්ම යනාදී සූත්‍ර සිය ගණනක් බුදු හිමියන් විසින් දේශනා කරනු ලබනුයේ මෙම නව ශාසනික ප්‍රවණතාව නිසාම ය.
බුද්ධ කාලීන බුදු සමය කොතරම් ජනප්‍රිය, ආකර්ෂණීය ඉගැන්වීමක් වශයෙන් ප්‍රචලිත වුවත් එය භාරතීය මධ්‍ය දේශයෙන් බැහැරට ව්‍යාප්ත වූ බවට ඓතිහාසික සාධක නොමැති බව සාමාන්‍ය පිළිගැනීමයි. එම නිගමනය එළැඹිය හැක්කේ ත්රිපිටකාගත ආරාම, නගර, රජ, සිටු ආදී පුද්ගල නාමාදිය මෙන්ම බුද්ධ චරිතය සම්බන්ධ තොරතුරු හුදෙක්ම ඉන්දීය මධ්‍ය දේශය හා සම්බන්ධ වීමයි. මේ සඳහා තවත් ප්රබලතම සාධකයක් වශයෙන් දීඝ නිකායේ ජනවසභ සූත්‍රය පෙන්වා දිය හැකිය. එහි විවිධ ජනපදවලින් මියගිය අය ගැන කියෑවෙන අතර එම පුද්ගලයන් අයත් වන ජනපද දහතුනම (13) අයත් වන්නේ භාරතීය මධ්‍ය දේශයටයි. ක්‍රි. ව. 5 ශත වර්ෂයේ ශ්‍රී ලංකාවේ රචිත මහාවංශය වැනි ග්රන්ථ තුළ බුදුරජාණන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම වූ බව වාර්තා වුවත්, ඒ සම්බන්ධව කිසිදු සටහනක් මුල් පාලි ත්‍රිපිටක ග්රන්ථ තුළ දැකිය නොහැකිය. ඒ අනුව භාරතයේ මධ්‍ය දේශයට පමණක් සීමා වී තිබුණු බුදු සමය ජාත්‍යන්තර රාජ්‍යයන්ට දායාද කර දෙනුයේ ධර්මාශෝක මහාධිරාජයා විසින් ය. ක්‍රි. පූ. 3 වැනි සියවසේ තෙවැනි සංගායනාවෙන් පසු මොග්ගලීපුත්තතිස්ස මහතෙරුන්ගේ උපදේශකත්වයෙන් සිදු වූ මෙම මහඟු ඓතිහාසික ශාසනික කර්තව්‍යය බුදු දහම ජාත්‍යන්තරකරණයේ මුල්ම පියවර වශයෙන් පෙන්වා දිය හැකිය. භාරතය තුළත් ඉන් බැහැරත් වූ ප්‍රාදේශීය හා රාජ්‍යයන් 9 කට ධර්මදූත කණ්ඩායම් පිටත් කර යෑවීමෙන් වර්තමානයේ පවා ලංකාව, තායිලන්තය, බුරුමය, ලාඕස්, කාම්භොජ යන රටවල් ථෙරවාද බුදු සමයේ මධ්‍යස්ථාන වශයෙන් ක්‍රියා කරන ආකාරය ප්‍රශංසනීයයි.
බුදු දහම හා ජාත්‍යන්තර සම්බන්ධතාව ගවේෂණය කිරීමේදී මීළඟට වැදගත් වනුයේ ක්‍රි. පූ. ප්‍රථම ශත වර්ෂයේ පශ්චාත් භාගයේ හෝ ක්‍රි. ව. මුල් භාගයේදී පමණ බුදු සමය මධ්‍යාසියාව හරහා චීනය, කොරියාව හා ජපානය යන රටවල්වලට පැතිරි යැමයි.
බුදු සමයේ මෑත කාලීන ව්‍යාප්තිය
බුදු දහම කොතරම් සක්‍රීය හා ආකර්ෂණීය වුවත් එය සීමා වී තිබුණේ ආසියාවට පමණි. බුදු දහම හා මුලින්ම සම්බන්ධතා ඇති කර ගත් මුල්ම බටහිර පිරිස වශයෙන් ග්රීකවරුන් පිළිගැනේ. යුදකාමී මහා ඇලෙක්සැන්ඩර් රජතුමා නිසා ග්‍රීක සංස්කෘතිය ඉන්දියාවටත් එසේම ඉන්දියානු සංස්කෘතිය හා දර්ශනයන් බටහිර ලෝකයටත් පැතිරී යැමට මං පෙත් විවර වූයේය.
යුද්ධය කොතරම් කුරිරු වුවත් සමහර විට ඉන් සිදුවන යහපත් ප්‍රතිඵල ද වේ. රජුන් විසින් රටවල් ආක්‍රමණය කළ පසු සංස්කෘතික හා දාර්ශනික චින්තාවන් අතර සිදුවන සම්මිශ්‍රණය නොවැළැක්විය හැකිය. එසේම මුහුදු වෙළෙඳුන් හා සංචාරකයන් විසින් ද විශාල සේවයක් බුදු දහම බටහිරට ව්‍යාප්ත වීම උදෙසා සිදු කළ බව පැවසිය හැකිය. මේ මාර්ගවලින් බෞද්ධ පුරාවෘත්ත, ක්‍රිස්තියානි පුරාවෘත්ත, බෞද්ධ භගවාන් හා බෝධිසත්ත්ව පුරාවෘත්ත ක්‍රිස්තියානි පුරාවෘත්ත සමඟ සම්මිශ්‍රණය වූ බව පිළිගැනේ. එනම් බර්ලාම් සහ ජෝසµdන් ගේ ක්‍රිස්තියානි පුරාවෘත්තය බෞද්ධ භගවාන් හා බෝධිසත්ත්ව පුරාවෘත්තයෙන් සකස් කර ගන්නා ලද්දකි. තවත් එසේ ක්‍රිස්තියානි ශාන්තුවරුන් හා සම්බන්ධ කොට සංස්කරණය කරගත් පුරාවෘත්ත අතර හ්‍යqබර්ටුස් ජූලියානුස් යන ආගමික නායකයන් වැදගත් වේ. ක්‍රිස්තියානි දේවධර්මයට අනුව ක්‍රිස්තුන් වහන්සේ අසාමාන්‍ය දිව්‍යමය චරිතයකි. එසේ මූර්තිමත් කරගනු ලබනුයේ බෞද්ධ පතපොතේ එන නිග්‍රෝධමිග ජාතකයේ බලපෑමෙන් බව පැවසේ. මෙබඳු අපැහැදිලි හා එතරම් විශ්වසනීයත්වයක් නොමැති සාධක මත පදනම් වූ බුදු දහම හා බටහිර ලෝක අතර සම්බන්ධතා පිළිබඳ පර්යේෂණ කොට කරුණු ඉදිරිපත් කළ දර්ශනිකයන් වශයෙන් 18, 19 සියවස් තුළ විසු ස්කොපෙන්හුර් සහ නීටාෂෙ පෙන්වා දිය හැකිය.
මෑත කාලීන බුදු සමය වශයෙන් සාමාන්‍යයෙන් අදහස් කරනු ලබන්නේ 18 වැනි සියවසේ අග භාගයෙන් පසු කාලයට අයත් බුදු දහමයි. විශේෂයෙන්ම 19 වැනි සියවසේ සිද්ධ වූ දේශපාලනික, ආර්ථික හා තාක්ෂණික පෙරළි නිසා බුදු දහම බටහිරට ව්‍යාප්ත වී ගිය ආකාරය මෙහිදී අවධාරණය කෙරේ. මීට ශතවර්ෂ දෙකහමාරකට පමණ පූර්වයේ දී බුදුq දහම නූතන ලෝකයට ව්‍යාප්ත වීමට බලපෑ හේතු සාධක රාශියක් පෙන්වා දිය හැකිය. ඒවා මෙසේය.
i. බුදු දහම ඉගෙනීම සඳහා බටහිර උගතුන් තුළ ඇති වූ කැමැත්ත
ii. අනගාරික ධර්මපාලතුමන් විසින් ආරම්භ කරන ලද ජාතික හා ආගමික ක්‍රියාකාරකම්.
iii. බෞද්ධ ධර්මදූත ව්‍යාපාරයක් ආරම්භ වීම විශේෂයෙන් ම ශ්‍රී ලාංකේය භික්ෂුන් වහන්සේ විසින්
iv බෞද්ධයන් බටහිරට විසිරී යැම.
v. ථෙරවාද මහායාන භේදය අමතක වීම.
vi. විවිධ පාරිසරික හේතු කාරණා.