Wednesday, March 7, 2012

මැදින් පෝදා ධර්මානුශාසනාව - නොපමාව පින් කරමු

තථෙව කත පුඤ්ඤම්පි
අස්මා ලොකා පරංගතං
පුඤ්ඤානි පතිගණ්හන්ති
පියං ඤාතීව ආගතං

(ධම්මපදය පිය වග්ගය)

සැදැහැවත්නි,

අද මැදින් පුර පසළොස්වක පොහෝ දිනයයි. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් පසු ප්‍රථම වරට උපන්ගම් ප්‍රදේශය වූ කිඹුල්වත්පුර නුවරට වැඩම කෙළේ අදවන් පොහෝ දිනයකයි. සුද්ධෝදන මහරජතුමාට බුද්ධත්වය ලැබූ ස්වකීය පුතණුවන් වූ බුදුරජාණන් වහන්සේ දැක බලා ගැනීමට මහත් ආශාවක් ඇතිවිය. එබැවින් ඒ සඳහා ආරාධනා කිරීමට ඇමැතිවරයකු සමඟ දහයක පිරිවර රජගහ නුවරට පිටත්කොට යැවීය.

එහි ගිය එම පිරිස බුදුරජාණන් වහන්සේ හමුවේ ධර්මය අසා පැවිදි වු නමුත් ආපසු කිඹුල්වතට නොපැමිණියහ. පෙර කී ආරාධනය ද අමතක කළ හ. මේ නිසා නැවතත් එවැනිම වූ පිරිසක් කිඹුල්වතට පිටත්කොට හැරී ය. එම පිරිස ද පෙර සේම බණ අසා පැවිදි වු නමුත් පෙර කී ආරාධනය අමතක කළහ.

මෙසේ වරින් වර දූත පිරිස් පිටත් කොට යවා එහි ප්‍රධාන අරමුණ ඉටුනොවූ හෙයින් නව වැනි වතාවට කාළුදායි ඇමැති ප්‍රමුඛ දහසක පිරිවර පළමුව යහ කරුණ ඉටු කරවන ලෙස පොරොන්දු කරවා එහි පිටත්කොට හැරීය. ගාථා 60 කින් යුත් අපූර්ව මාර්ග වර්ණයක් ද ඉදිරිපත් කරමින් ඔවුහු බුදුරජාණන් වහන්සේට කිඹුල්වත් නුවරට වැඩම වන මෙන් ආරාධනා කළහ.

යොදුන් 60 ක් දුර ගෙවා විසි දහසක් භික්ෂුන් වහන්සේලාද සමඟ වැඩම කළ එම කිඹුල්වත්පුර චාරිකාව නිසා විශාල පිරිසකට ධර්මාවබෝධය ලැබීමේ භාග්‍යය උදාවුණි. අදවන් පොහෝ දිනයක අප තරයේ සිත්හි තබාගත යුතු වන්නේ අකුසලින් දුරුව කුසලය කෙරෙහි වඩ වඩාත් නැඹුරු විය යුතු බවයි. අප සංසාරික ජීවිතය අඳුරෙන් ආලෝකය කරා ගෙන යාමට උපකාර වන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ නිර්මල වූ ශ්‍රී සද්ධර්මයයි.

ධම්ම පදයේ පිය වග්ගයෙහි තථෙව කථ පුඤ්ඤම්පි.... යන ගාථාවෙන් කියැවෙන පරිදි තමා විසින් මෙලොවදී කර ගන්නා ලද පින තමාටම පරලොව දී පිහිට වන්නේ පිට දේශයකට ගොස් යමක් හරිහම්බ කරගෙන ආ කෙනෙක් පිළිගනු ලබන ඥාති පිරිසක් මෙනි. තම නෑයෙක් හෝ හිතවත් කෙනෙක් පිට දේශයකට ගොස් සෑහෙන ධනයක් සපයාගෙන එන විට සියලු නෑ මිතුරෝ රැස් වෙති. ඔහු ආදරයෙන් ලැඳිකමින් පිළිගනිති. ගරු සත්කාර කෙරෙති. එය ලොව පවතින ස්වභාවයයි. පැවතිය යුතු ස්වභාවයත් එයමයි.

එසේම යමෙක් යහපත් ක්‍රියාවන්හි යෙදෙමින් යුතුකම් නිසිපරිදි ඉටුකරමින් මව්පියන්ට සලකමින්, නැති බැරි අයට හැකි පමණින් අත දෙමින්, ඊර්ෂයා ක්‍රෝධාදියෙන් තොරව, කරුණා මෛත්‍රී සහගතව ජීවිතයක් ගත කෙරේ නම් ඔහුට මතු ආත්ම භවයන්හිදී සකලවිධ සැප පහසුකම් තමන් රැස් කළ පින විසින්ම සලසා දෙයි. ඥාති මිත්‍ර පිරිසක් තමන් පිළිගන්නාක් මෙනි. මෙය කුසලයේ ප්‍රතිඵලයයි. පින් කල තැනැත්තා ඒ පින විසින්ම බබලවයි.

පිනක විපාකයක් නැතැයි නොසිතිය යුතුය. කුසලා කුසල කර්මයෝ අනුගාමික වශයෙන් අප පසුපස ගමන් කෙරෙති. එය සෙවනැල්ලක් සේය. එබැවින් අද වැනි මැදින් පුර පසලොස්වක දිනයක කුසලයන්හී යෙදීමට අධිෂ්ඨාන කරගත යුතු ය. එය අප විසින්ම අපටම කර ගනු ලබන පිහිටකි.

තෙරුවන් සරණයි !

කහඳ අමරබුද්ධි නායක ස්ථවීර
කැලිෆෝනියාවේ 
ප්‍රධාන සංඝනායක 

No comments:

Post a Comment