Tuesday, February 21, 2012


ශ්‍රද්ධාවයි එහි ඇති බලය යි

තලල්ලේ චන්දකිත්ති හිමි

ශ්‍රද්ධාව පිළිබඳව ධර්මයෙහි බොහෝ තැන්වල සඳහන් වී තිබෙනවා. ඒවාට අනුව සත්‍යාවබෝධයට මෙය කෙතරම් උපකාර වෙනවා දැයි සිතා ගත හැකි යි. ශ්‍රද්ධාව සප්තාර්ය ධනයන්ගෙන් එකක්. එසේම සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන් අතර ද පංච ඉන්ද්‍රිය ධර්ම, පංච බල ධර්ම අතර ද ශ්‍රද්ධාව ප්‍රමුඛත්වයෙන් සළකනවා.

ශ්‍රද්ධාව, භක්තිය, විශ්වාසය, පුද පූජා වැනි වචන මිනිසුන් විසින් අදහන සෑම ආගමක ම වගේ දක්නට ලැබෙන වචන කීහිපයක්. මේ වචන වලින් බුදුදහමෙහි වඩාත් ම භාවිත වන්නේ “ශ්‍රද්ධාව යි.” බුදුදහමෙහි ඉගැන්වෙන විශ්වාසය නැතිනම් ශ්‍රද්ධාවත් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. බුද්ධියට නැඹුරු වූ ශ්‍රද්ධාව හා බුද්ධියට නැඹුරු නොවූ ශ්‍රද්ධාව වශයෙන්. ආකාරවතී ශ්‍රද්ධා, අමූලිකා ශ්‍රද්ධා වශයෙන් දක්වා ඇත්තේ ඒ කොටස් දෙක යි. බුදුදහම හැමවිට ම වඩාත් අගය කරන්නේ බුද්ධිගෝචර වූ ශ්‍රද්ධාව යි.

සත්‍යාවබෝධය සඳහා යන ගමනේ දී බුද්ධියට නැඹුරුව ගමන් කිරීමයි වැදගත්. ඒ නිසා බුදුදහම තුළ ශ්‍රද්ධාව යි ප්‍රඥාව යි සමාන ව පැවැත්විය යුතු ධර්මතා හැටියට සළකන්නේ. බුද්ධියෙන් තොර ශ්‍රද්ධාව බුදුදහමෙහි අගැයීමට ලක් වන්නේ නැහැ. අන්ධ භක්තියට බුදුදහම තුළ ඉඩක් නැහැ.

ශ්‍රද්ධාව පිළිබඳව ධර්මයෙහි බොහෝ තැන්වල සඳහන් වී තිබෙනවා. ඒවාට අනුව සත්‍යාවබෝධයට මෙය කෙතරම් උපකාර වෙනවා දැයි සිතා ගත හැකි යි. ශ්‍රද්ධාව සප්තාර්ය ධනයන්ගෙන් එකක්. එසේම සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන් අතර ද පංච ඉන්ද්‍රිය ධර්ම, පංච බල ධර්ම අතර ද ශ්‍රද්ධාව ප්‍රමුඛත්වයෙන් සළකනවා.

කිලිටි සිතිවිලි සෝදා හරිමු

මුල්ලේරියාව
සිරි සුමනනන්ද පිරිවෙණේ
නියෝජ්‍ය පරිවේණාධිපති 
ගෞරව ශාස්ත්‍රවේදී 
රාජකීය පණ්ඩිත
සෝමපුර සිරිසුධම්ම හිමි

අභ්‍යන්තර, බාහිර ලෝක දෙක සම්බන්ධීකරණය වීමෙන් පුද්ගලයා තුළ ඇතිවන සිතිවිලි වල ස්වභාවය අනුව තම ජීවන ක්‍රියාදාමය සුඛිත මුදිත කර ගැනීමටත් නැතිනම් දුක් කම්කටොලුවලින් යුක්ත එකක් බවට පත් කර ගැනීමටත් හැකි වේ

නමෝ තස්ස භගවතෝ 
අරහතෝ සම්මා සම්බුද්ධස්ස
චිත්තස්ස දමතෝ සාධූ 
චිත්තං දන්තං සුබාවහං

(පිරිසුදු සිත් ඇති යහපත් ක්‍රියා ඇති තැනැත්තා තම සීලය සම්පූර්ණ කරනවා. ඔහු කරන, කියන, සිතන සියල්ලම පිරිසුදුයි.)

තිලෝගුරු බුදුපියාණන් වහන්සේ විසින් සිතේ ඒකාධිකාරයට වසඟ නොවී ක්‍රියා කිරීමෙන් උසස් ජීවන මාර්ගයක් සාක්‍ෂාත් කරගත හැකි බව වදාළ සේක. කෙනෙකු ජීවත්වෙනවා යනු සිත සිතිවිලි මුල්කොට ගත් කාය වාග් ක්‍රියාදාමයකි. මේ අනුව තමාගේ ජීවන චර්යාව සකස් වන්නේ තම සිත තුළ උපදින සිතිවිලි පදනම් වීමෙන් බව අපට පෙනේ.

ඉන්ද්‍රීය ධර්මයෝ බාහිර අරමුණු සමඟ මුහු වන විට චේතනය වීම හෙවත් සිත තුළ සිතිවිලි ඉපදීම සිදුවේ. කෙනෙකුගේ ජීවත්වීම සැකසෙන්නේ මෙසේ අභ්‍යන්තර ආධ්‍යාත්මික ලෝකය, බාහිර ලෝකය හා සම්බන්ධ වීමෙනි. එම අභ්‍යන්තර, බාහිර ලෝක දෙක සම්බන්ධීකරණය වීමෙන් පුද්ගලයා තුළ ඇතිවන සිතිවිලි වල ස්වභාවය අනුව තම ජීවන ක්‍රියාදාමය සුඛිත මුදිත කර ගැනීමටත් නැතිනම් දුක්කම්කටොලුවලින් යුක්ත එකක් බවට පත් කර ගැනීමටත් හැකි වේ. එහෙත් ඤාණවන්තයන් නිරන්තරව උත්සාහ ගනු ලබනුයේ අයහපත් සිතිවිලි වලින් නික්මී (නෙක්ඛම්ම) යහපත් සිතිවිලි පමණක් ක්‍රියාවට නැන්වීමෙන් තම ජීවිතය සුඛිත මුදිත එකක් බවට පත් කර ගැනීමටය. ඒ සඳහා අරමුණු ගැටෙන විට සිත දැකීමේ හැකියාවක් තමාට තිබිය යුතුය. එයට “විදස්සනාව“ යැයි කියනු ලැබේ. මේ අනුව සුඛිත මුදිත ජීවිතයක් ගත කිරීම සඳහා විදස්සනාවත්, අයහපත් සිතිවිලිවලින් නික්මෙන නෙක්ඛම්ම ප්‍රතිපදාවත් අත්‍යවශ්‍ය බව අවබෝධ කර ගනිමු. මෙම විදස්සනා මාර්ගයත්, නෙක්ඛම්ම ප්‍රතිපදාවත් අනුගමනය කිරීමට ගෘහ ජීවිතයෙන් ඈත් විය යුතු නැත. යමෙක් ඉන්ද්‍රීයන්ට අරමුණු ගැටෙන විට තම සිත දකින්න පුළුවන් නම් එය විදස්සනා මාර්ගයයි.එයින් කෙනෙකු තුළ සම්මා දිට්ඨියද සම්පූර්ණ වේ.

Wednesday, February 8, 2012

සාර්ථක ගෘහ ජීවිතයක්‌ උදෙසා බුදු දහම


මානව සමාජයේ ගෘහ ජීවිතය සාර්ථක කර ගැනීමට නම් භෞතික හා අධ්‍යාත්මික ක්‍ෂේත්‍රයන් දෙකෙන්ම වර්ධනයක්‌, දියුණුවක්‌ ලැබිය යුතුමය යන්න බුදුන් වහන්සේ අනුදැන වදාළ දහමයි. නූතන ලෝකයේ ක්‍රිස්‌තියානි සංස්‌කෘතිය හා නව ලිබරල් වාදය රජ කරවන රාජ්‍යයක්‌ තුළින් නිර්මාණය වූ සංවර්ධන දර්ශකය වූයේ භෞතික සංවර්ධනයයි. එහි ආධ්‍යාත්මික සංවර්ධනයට ලැබී ඇති ඉඩ ප්‍රස්‌ථාව ඉතාමත් අල්පය නැතහොත් ඇත්තේම නැති තරම් ය.

එහෙත් 1832 දී කෝල්බෲක්‌ - කැමරන් නමැති බ්‍රිතාන්‍ය ජාතිකයන් දෙදෙනා ලක්‌දිවට පැමිණ බටහිර ධනේෂ්වර අර්ථ ක්‍රමය මෙරට මත උත්තරාරෝපණය කරන තෙක්‌ වසර 2100 කට අධික කාලය මුළුල්ලේ අපේ මාතෘ භූමිය බුදු දහමින් පෝෂණය ලැබූ බෞද්ධ අර්ථ ක්‍රමය අනුගමනය කළ රාජ්‍යයක්‌ විය. එම වකවානුව තූළ අපේ රට තුළ ගෘහ ජීවිතයේ සංවර්ධනය මැනීමේ මිනුම් දණ්‌ඩ බවට පත්ව තිබුණේ අධ්‍යාත්මික සංවර්ධනය ප්‍රමුඛ කරගත් ක්‍රමවේදය බව තර්කානුකූල සත්‍යයකි. එහිලා භෞතික සංවර්ධනයට තිබුණේ අල්ප අවධානයක්‌ බවත් ප්‍රචලිතය.

බටහිර ලෝකයේ සංවර්ධනය මනින ඒකකයන් අතර විවිධාකාර වූ ආර්ථික න්‍යායන් පවතී. ඒක පුද්ගල ආදායම දළ ජාතික ආදායම කොපමණදැයි විමසා බලා ඒ අනුව රටේ සංවර්ධනය තීරණය කිරීම බටහිර ප්‍රචලිත ක්‍රම වේදයයි. රටක දළ ජාතික ආදායම එම රටේ ඔළුගෙඩි ප්‍රමාණයෙන් බෙදා ලැබෙන උත්තරය ඒක පුද්ගල ආදායම ලෙසට පිළිගැනිම කොතෙක්‌ දුරට සාධාරණද? යුක්‌ති සහගතද? තර්කානුකූල ද? විද්‍යාත්මක දැයි විමසා බලන්න. පරම්පරා ගණනකට ප්‍රමාණවත් ධනය තිබෙන මිනිසාගේ ධනය එදා වේල පිරිමසා ගැනීමට බැරි මිනිසාගේ ඔළුගෙඩියෙන් මැනීම හෝ බෙදීම තුළින් එම මිනිසාට ලැබෙන ඵලයක්‌ වේද?