Wednesday, February 8, 2012

සාර්ථක ගෘහ ජීවිතයක්‌ උදෙසා බුදු දහම


මානව සමාජයේ ගෘහ ජීවිතය සාර්ථක කර ගැනීමට නම් භෞතික හා අධ්‍යාත්මික ක්‍ෂේත්‍රයන් දෙකෙන්ම වර්ධනයක්‌, දියුණුවක්‌ ලැබිය යුතුමය යන්න බුදුන් වහන්සේ අනුදැන වදාළ දහමයි. නූතන ලෝකයේ ක්‍රිස්‌තියානි සංස්‌කෘතිය හා නව ලිබරල් වාදය රජ කරවන රාජ්‍යයක්‌ තුළින් නිර්මාණය වූ සංවර්ධන දර්ශකය වූයේ භෞතික සංවර්ධනයයි. එහි ආධ්‍යාත්මික සංවර්ධනයට ලැබී ඇති ඉඩ ප්‍රස්‌ථාව ඉතාමත් අල්පය නැතහොත් ඇත්තේම නැති තරම් ය.

එහෙත් 1832 දී කෝල්බෲක්‌ - කැමරන් නමැති බ්‍රිතාන්‍ය ජාතිකයන් දෙදෙනා ලක්‌දිවට පැමිණ බටහිර ධනේෂ්වර අර්ථ ක්‍රමය මෙරට මත උත්තරාරෝපණය කරන තෙක්‌ වසර 2100 කට අධික කාලය මුළුල්ලේ අපේ මාතෘ භූමිය බුදු දහමින් පෝෂණය ලැබූ බෞද්ධ අර්ථ ක්‍රමය අනුගමනය කළ රාජ්‍යයක්‌ විය. එම වකවානුව තූළ අපේ රට තුළ ගෘහ ජීවිතයේ සංවර්ධනය මැනීමේ මිනුම් දණ්‌ඩ බවට පත්ව තිබුණේ අධ්‍යාත්මික සංවර්ධනය ප්‍රමුඛ කරගත් ක්‍රමවේදය බව තර්කානුකූල සත්‍යයකි. එහිලා භෞතික සංවර්ධනයට තිබුණේ අල්ප අවධානයක්‌ බවත් ප්‍රචලිතය.

බටහිර ලෝකයේ සංවර්ධනය මනින ඒකකයන් අතර විවිධාකාර වූ ආර්ථික න්‍යායන් පවතී. ඒක පුද්ගල ආදායම දළ ජාතික ආදායම කොපමණදැයි විමසා බලා ඒ අනුව රටේ සංවර්ධනය තීරණය කිරීම බටහිර ප්‍රචලිත ක්‍රම වේදයයි. රටක දළ ජාතික ආදායම එම රටේ ඔළුගෙඩි ප්‍රමාණයෙන් බෙදා ලැබෙන උත්තරය ඒක පුද්ගල ආදායම ලෙසට පිළිගැනිම කොතෙක්‌ දුරට සාධාරණද? යුක්‌ති සහගතද? තර්කානුකූල ද? විද්‍යාත්මක දැයි විමසා බලන්න. පරම්පරා ගණනකට ප්‍රමාණවත් ධනය තිබෙන මිනිසාගේ ධනය එදා වේල පිරිමසා ගැනීමට බැරි මිනිසාගේ ඔළුගෙඩියෙන් මැනීම හෝ බෙදීම තුළින් එම මිනිසාට ලැබෙන ඵලයක්‌ වේද?

එහෙත් බටහිර ධනේෂ්වර අර්ථ ක්‍රමය තුළ පවතිනුයේ එවන් වූ සත්‍යය නොවන, සාධාරණ නොවන, තර්කානුකූල, විද්‍යාත්මක නොවන ක්‍රම වේදයකි. එම මිනුම් දණ්‌ඩෙන් මැන ලබා ගන්නා දත්ත මත රටක සමාජයක ආර්ථික සංවර්ධනය හුදු ප්‍රලාපයකට වඩා වැඩි යමක්‌ නම් නොවන බව තර්කානුකූලය.

මානව සමාජයේ සංවර්ධනය මනින බටහිර ඒකකය නිවැරැදි නම් භෞතික සංවර්ධනය අතින් ලොව ඉදිරියෙන්ම පවත්නා ඇමරිකා එක්‌සත් ජනපදය ප්‍රමුඛ බටහිර රටවල දිවිගෙවන ජනයා ලෝකයේ වඩාත්ම සතුටින්, තෘප්තිමත්ම ජීවිත ගෙවන ජනයා විය යුතුය.

එහෙත් 2010 වර්ෂයේදී සිදු කළ විමර්ෂණයකදී අනාවරණය වූයේ ලෝකයේ වඩාත්ම තෘප්තිමත් ජීවිත ගත කරනුයේ භූතානයේ ජනයා බවය. බටහිර මිම්මට අනුව අවවර්ධනයක්‌ සහිත හෝ සංවර්ධන වෙමින් පවතින රටක්‌ වන හිමාල අඩවියේ පවත්නා භූතානයේ වැසියෝ ලොව වඩාත්ම තෘප්තිමත් ජනතාව බව අනාවරණය වීම තුළින් ලොව හමුවේ සනාථ කරනුයේ බටහිර සංවර්ධන දර්ශක හෝ මිනුම් ඒකක ව්‍යාජයක්‌, ප්‍රොaඩාවක්‌ බවයි.

භූතාන වැසියෝ ලොව තෘප්තිමත්ම ජනයා වීමට එරට ධනේශවර හෝ නව ලිබරල් වාදී අර්ථ ක්‍රමය වැළඳ නොගැනීම ප්‍රමුඛතම හේතුව වූවාට කිසිදු සැකයක්‌ නැත.

ශ්‍රී ලංකාවේ නිදහස ලබනවිට ධනේෂ්වර හෝ නව ලිබරල්වාදී අර්ථක්‍රමය මුළු මනින්ම සමාජය ගිලගෙන නොතිබුණු තත්ත්වය හෝ පසුබිම තුළ මෙරට තුළ රජ කළේද බෞද්ධ අර්ථක්‍රමයට අනුගත වූ අල්පේච්ඡතාව ගරු කළ, ලද දෙයින් සතුටු වූ වඩාත් තෘප්තිමත් සමාජයකි. එදා අපේ සමාජයත් භෞතික සංවර්ධනයට වඩා අධ්‍යාත්මික සංවර්ධනයට වැඩි පිළිගැනුමක්‌, ප්‍රමුඛතාවක්‌ ලබා දුන් බවත් පරම සත්‍යයකි. භෞතික සම්පත් කෙරෙහි ලොල්ව, ඒවා ගොඩගහගැනීමේ, අත්පත් කර ගැනීමේ නොතිත් ආශාවෙන් පෙළෙමින් ඉවක්‌ බවක්‌ නැති තරගයකට යොමු වෙමින් කාලයත් සමඟ හරඹ කරමින්, විශාල ආතතියකින් කළ දවස ගෙවමින්, කුසට නිසි ආහාරයක්‌, සිරුරට කිසි ව්‍යායාමයක්‌ නොමැතිව හැල්මේ දුවන, බිරිඳ - දූ දරුවන් සමග ගෘහ ජීවිතයකට පවා අවස්‌ථාව අහිමි කරගත්, ඒ නිසාම අධි රුධිර පීඩනය, හෘදයාබාධ, දියවැඩියාව වැනි රෝගවලින් පෙළෙමින්, සෞඛ්‍ය සම්පන්න නිවසක්‌ වෙනුවට නිවස පුංචි පහේ ඖෂධ වෙළෙඳසලක්‌ බවට පත් කර ගත් ලාංකීය සමාජයක්‌ මේ වනවිට අපට උරුම වී තිබේ.

එහෙත් පාලකයන් නිලධාරීන් නම් ඉතාමත් අභිමානයෙන් පවසනුයේ අපේ රට මධ්‍යම මට්‌ටමේ සංවර්ධනය වෙමින් පවතින රටක්‌ බවයි. ඒ ඉහත කී බටහිර අවිද්‍යාත්මක, ව්‍යාජ මිනුම් ඒකක පාදක කර ගනිමිනි.

මානව සමාජයේ සංවර්ධනය පිළිබඳ බුදුන් වහන්සේගේ මතය හෝ දැක්‌ම කුමක්‌දැයි සරලව විමසා බැලීමේදී පවා දැක ගත හැක්‌කේ පුද්ගලයකුගේ භෞතික දියුණුවට සාපේක්‍ෂ අධ්‍යාත්මික දියුණුවක්‌ සංවර්ධනයක්‌ ද පැවතිය යුතු ම බවයි. එය බුදු සමයේ දැක්‌වෙන, පිළිගැනෙන මූලික සිද්ධාන්තයකි. ගෘහ ජීවිතයක්‌ ගත කරන මිනිසා හෝ ගිsහියා කෙරෙහි බුදුන් වහන්සේ සිය දහම තුළින් ගැඹුරු අධ්‍යයනයක්‌ යොමු කර තිබේ.

ඒ අනුව කාමභෝගී ගිහියාට දිළිඳු බව දුකට හේතුවක්‌ යෑයි බුදුරජාණන් වහන්සේ දේශනාකොට ඇත්තාහ. මේ හේතුකොට ගෙනම, වඩාත් ධාර්මික වූ ක්‍රම වේදයක්‌ තුළින් දැහැමි ධනයක්‌, වස්‌තුව හෝ වත්කමක්‌ සම්පාදනය කර ගැනීමට ගිහියා ඇප කැප විය යුතු බව උන්වහන්සේ අවධාරණය කර තිබේ. උට්‌ඨාන වීර්යයෙන්, බාහු බලය යෙදවීමෙන්, දහදිය වැගිරවීමෙන් නැතහොත් ශ්‍රමයෙන් තමන්ට ඇවැසි ධනය උපයා සපයා ගත යුතු බව බුදුන් අනුදැන වදාළ දහමයි.

එහෙත් අපේ රට පාලනය කළ ඇතැම් මෑත කාලීන පාලකයන් කෙසේ හෝ මුදල් උපයා ගැනීම ජනතාව පෙළැඹවූයේ ඒ නව ලිබරල්වාදී අර්ථ ක්‍රමයේ ආනිශංසයන්ය.

ඉහතින් දැක්‌වූයේ "ධමමිකෙ හි ධම්ම ලද්දේහි" යන බුදු වදන පිළිබඳ විග්‍රහයයි. ඒ වාගේම "සබ්බේ සත්තා ආහාරට්‌ඨිතිකා" සියලු සත්ත්වයෝ ආහාරයෙන් රැකෙති. නොඑසේ නම් සියලුම සතුන්ගේ පැවැත්මට ආහාර අත්‍යවශ්‍ය ය යන සර්වකාලීන සත්‍යය බුදුදහමේ කැපී පෙනේ. නමුත් ඒ සඳහා ධාර්මික උත්සාහයක නියෑළීමෙන්, කිසිවකුට හිංසාවක්‌, පීඩාවක්‌ සිදු නොකරමින්, සම්මා ආජිවයෙන්, යහපත් කර්මාන්තයෙන්, සිය ආර්ථිකය සම්පාදනය කරගත යුතුය යන්න ගිහි සමාජයේ යහපත වෙනුවෙන් පෙන්වාදී, උගන්වා දී ඇති අතිශයින්ම වැදගත් සංකල්පයකි. යහපත් කර්මාන්තයක නියෑළීම පිළිබඳව සිදු කරන විශ්ලේෂණයේදී ගිහි ප්‍රජාවගේ පමණක්‌ නොව සියලු සත්ත්වයන් ඇතුළු සමස්‌ත ජීව පද්ධතියේ ම සුරක්‍ෂාව කෙරෙහි අප ගෞතම බුදුන් වහන්සේ සිය කාරුණික වූත්, මානවවාදී වූත් අවධානය යොමු කොට ඇත්තාහ.

විශේෂයෙන් සඳහන් කළ යුතු කාරණයක්‌ වනුයේ එහිදී මිනිසා විසින් සිදු නොකළ යුතුම වෙළෙ¹ම් පහක්‌ (05) පිළිබඳව ද දැඩිව අවධාරණය කර තිබීමයි. එනම් අවි ආයුධ වෙළෙ¹ම, වස විස වෙළෙ¹ම, මස්‌ මාංශ වෙළෙ¹ම, වහල් වෙළෙ¹ම සහ මත්පැන් වෙළෙ¹ම යනුවෙනි. කිසියම් පුද්ගලයකුට මෙම වෙළෙ¹ම්හි නිරත වීම තුළින් ඉතාමත් කෙටි කාලයක්‌ තු=ළදීම දුක්‌ත විපාක, අත්දැකීම් විඳීමට උරුම කර ගැනීමට සිදුවන බව සමස්‌ත සමාජයේම යහ පැවැත්මට දැඩි හානියක්‌ එමගින් සිදු කෙරෙන බවත් බුදුන්වහන්සේ පෙන්වා දුන්හ.

එම නිසා පුද්ගලයා භෞතික සංවර්ධනය, දියුණුව සොයා යැමේදී අධ්‍යාත්මික පරිහානියට දායක වන, රාගය, ද්වේෂය, මෝහය, මත පදනම් වූ ධනය සම්පාදනය කරන ක්‍රමවේද අනුගමනය නොකළ යුතු බව මානව සංහතිය කෙරෙහි අපරිමිත වූ අනුකම්පාවෙන් වදාළ සේක. බුදු දහම අනුව යමින් පුද්ගල හෝ පවුලේ වර්ධනය, දියුණුව සොයා යන බෞද්ධයකු, ගිහියකු, වශයෙන් ඔබ මේ සුවිශේෂී වූත්, වැදගත් වූත්, කරුණු කාරණා කෙරෙහි දැඩි සැලකිල්ලෙන් යුතුව අවධානය යොමු කිරීමත්, ජීවිතයට එකතු කර ගැනීමත් අතිශයින්ම ප්‍රායෝගිකය වැදගත්ය.

ගිහි බෞද්ධයා හෝ මනුෂ්‍යයාගේ දියුණුව, වර්ධනය ගෘහස්‌ත ජීවියෙහි රැකවරණය සහතික වීමට නම් සමස්‌ත මානව සමාජය ම හෝ ගිහි සමාජයම ශීලයෙහි පිහිටා සිටීම අතිශයින්ම වැදගත්ය. ප්‍රායෝගිකය, ජීවිතයේ ඇති වන්නා වූ විවිධාකාර වූ ගැටලු ප්‍රශ්න, අර්බුද විස¹ ගැනීමේදී ශීලයෙහිම පිහිටා ක්‍රියා කිරීම සර්වකාලීන යහ පැවැත්මට දායක වන කාරණයකි.

ප්‍රඥවන්තයා තම ගිහි ජීවිතය පවත්වාගෙන යැමේදී ශීලය එහි පදනම බවට පත් කර ගැනීම අතිශය වැදගත්ය. කිසියම් ගිහියකු ප්‍රාණ ඝාතයෙන්, සොරකමින්, කාම මිත්‍යාචාරයෙන්, මුසාවෙන් තොර වූ දිවියක්‌ සිය ගෘහයේ දීත්, රැකියා ස්‌ථානයේදීත්, සමාජ ජීවිතයේදීත් පවත්වා ගත යුතුය. එසේ දිවි ගෙවන්නාට නීතියට හෝ දඬුවමට බිය වීමට කිසිදු අවශ්‍යතාවක්‌ මතු වන්නේ නැත. ඉන් පුද්ගල ඝාතන පමණක්‌ නොව, පවුලේ, පරපුරේ, දිවි ගෙවන ගමේ හා සමාජයේ යහපතට හේතු වන බව සදාතනික සත්‍යයකි.

ගෘහස්‌ත ජීවිතයක්‌ ගෙවනා ඕනෑම පුද්ගලයකුට තමන්ගේ ආර්ථිකය සකසා ගැනීමේදී මෙන්ම කළමනාකරණයේදීත් අනුගමනය කළ යුතු ක්‍රමෝපායන් පිළිබඳ ව්‍යාග්ඝපඡ්ජ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පෙන්වාදී ඇත්තාහ. මේ ආකාරයට ඉතා සූක්‍ෂමව, අවශ්‍ය ප්‍රමාණයට පමණක්‌ ධනය භුක්‌ති විඳිය යුතු බවට බුදු දහම බලවත් සේ අවධාරණය කොට තිබේ. සමාජයීය සම්බන්ධතා පිළිබඳ ගැඹුරු අවධානයක්‌ යොමු කරන බුදු දහම ගෘහ ජීවිතයක්‌ ගත කරන පුද්ගලයකුගේ සමාජ සම්බන්ධතා වඩාත් යහපත් ලෙස පවත්වා ගත යුතු බවත්, එකිනෙකා වෙනුවෙන් ඉෂ්ට කළයුතු යුතුකම් හා වගකීම් ප්‍රමාණයක්‌ ගිහි ජීවිතයෙහි පවත්නා බවත්, ඒවා මැනවින් හඳුනාගෙන ඒවා පැහැර නොහැර ඉෂ්ට කළේ නම් ගෘහ ජීවිතය වඩාත් සාර්ථක වන ආකාරයෙන් සිඟාලෝවාද සූත්‍රයේදී විශ්ලේෂණය කර තිබේ.

මේ අයුරින් ත්‍රිපිටකයෙහි සඳහන්ව ඇති සූත්‍ර දේශනාවලින් මෙන්ම ජාතික කතා වැනි අපගේ බෞද්ධ ධර්ම සාහිත්‍ය ග්‍රන්ථවලින්ද ගෘහ ජීවිතය සාර්ථක කර ගත හැකි ඉතා වටිනා සන්දේශයන් ලබාගත හැකි බව ප්‍රකට කාරණයකි. පන්සිය පනස්‌ ජාතක පොත, සද්ධර්ම රත්නාවලිය, අමා වතුර, බුත්සරණ ඇතුළු පැරැණි හෙළ බෞද්ධ ග්‍රන්ථ රත්නයන් පරිශීලනය කරන්නා වු ගිහි ඇත්තන්ට ස්‌වකීය ගෘහ දිවිය නිවැරැදි හා යහපත් ආකාරයට හැඩ ගස්‌වා ගැනීම සඳහා අවශ්‍ය කරන ධාර්මික උපදේශනයන් කොතෙකුත් ලබා ගැනීමට පුළුවනි. එමෙන්ම ඒවා මනෝවිද්‍යාත්මකව, ජීව විද්‍යාත්මකව, සමාජ විද්‍යාත්මකව සමාජගත වී ඇති අයුරුත් දැක ගත හැකි බව ප්‍රචලිතය.

බුදුරජාණන් වහන්සේ දේශනා කළ අති උතුම් සද්ධර්මය පිළිබඳව හැදෑරීමේදී ඉතාමත් කදිමට තහවුරු කෙරෙන වැදගත්ම කාරණයක්‌ වනුයේ බටහිර සංස්‌කෘතිය හා බැඳුණු නව ලිබරල් වාදී අර්ථක්‍රමය බඳු මානව සමාජයේ අධ්‍යාත්මික පරිහානියම ඇති නොකරන, බෞද්ධයකුගේ ගෘහ දිවියේ සාර්ථකත්වය යනු ඔහුගේ ආර්ථික දියුණුව හෝ වර්ධනය පමණක්‌ නොවන බවත්, එමගින් ගිහි සමාජයේ ආධ්‍යාත්මික දියුණුවත් එකසේ අපේක්‍ෂා කිරීම බුදු දහමේ සුවිශේෂී බවත්ය.

පූජ්‍ය ඌවතැන්නේ සුමන ස්‌ථවිර


No comments:

Post a Comment