Friday, March 23, 2012

බුදු දහමේ ජාත්‍යන්තර ව්‍යාප්තිය උදෙසා ශ්‍රී ලාංකේය දායකත්වය

ආචාර්ය මැදවච්චියේ ධම්මජෝති හිමි
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
පාලි හා බෞද්ධ අධ්‍යයන ඒකකය,
කොළඹ විශ්වවිද්‍යාලය.

බුදු සමයේ ආරම්භය මුල් කාලීන ව්‍යාප්තිය හා එහි මධ්‍යතන යුගයේ දේශාන්තර ව්‍යාප්තිය පිළිබඳව සංක්‍ෂිප්ත වශයෙන් වුව ද අවබෝධ කර ගැනීම මෑත කාලීන බුදු සමයේ ජාත්‍යන්තර ව්‍යාප්තිය අධ්‍යයනය කිරීමේදී මහඟු පිටිවහලක්‌ සැපයෙන බව පැවසිය යුතුය. 19 වැනි සියවසේ ශ්‍රී ලාංකේය ජාතික හා බෞද්ධ පුනරුදයේ හා තවත් බොහෝ හේතු සාධක මත බුදුÊසමය බටහිර ප්‍රචලිත වන ආකාරය පිළිබඳ පරීක්‍ෂා කර බැලීම මෙම ලිපියේ මුඛ්‍යාර්ථය වුවත් බුදු සමය දේශාටනකරණයේ ඓතිහාසික පසුබිම මඳක්‌ විමර්ශනය කර බැලීම වඩාත් ප්‍රයෝජනවත් වේ. මහාවග්ගපාලිය වාර්තා කරන අන්දමට බුදු දහම මුලින්ම අවබෝධ කර ගනු ලබනුයේ පCඳ්ච වග්ගිය භික්‍ෂුන් වහන්සේ විසින් ය. ඉන් පසු බහුජන හිත සුව පිණිස ප්‍රථම ධර්ම දූත කණ්‌ඩායම ගම්, නියම්, දනව් සිසාරා ධර්ම ප්‍රචාරය කිරීමෙන් බුදු දහම ව්‍යාප්ත කරවීමේ මුල්ම පියවර තබන ලදී. ඉන් පසු බුදුරජාණන් වහන්සේ ද උරුවෙල් දනව්වට වැඩමවා උරුවෙල කාශ්‍යප, ගයා කාශ්‍යප, නදී කාශ්‍යප යන තුන්බෑ ජටිලයන් ප්‍රධාන දහසක්‌ පිරිස දමනය කොට පැවිදි කරවා ධර්ම ප්‍රචාරය සඳහා පිටත් කර යෑවූහ. මුල් කාලීන ධර්මදූතයන් වහන්සේගේ අප්‍රතිහත ධෛර්යය, වාග් චාතුර්යය හා අපරිමිත කුසලතාව නිසාම ගිsහි පැවිදි විශාල පිරිසක්‌ මෙම නව දහම වැළඳ ගත්හ. රාජ රාජ මහාමාත්‍යයන් පමණක්‌ නොව ගොවි, කම්කරු ආදී සාමාන්‍ය ජනතාව ද විශාල වශයෙන් මෙම නවමු දර්ශනය හා ප්‍රතිපදාවෙහි අනුගාමිකයෝ වූහ. ගිහි ජනතාව බහුල වශයෙන් බෞද්ධ ආගමිකයන් වීම ශාසන ඉතිහාසයේ සුවිශේෂී සංසිද්ධියක්‌ වශයෙන් පෙන්වා දිය හැකිය. එනම් මෙතෙක්‌ නිර්වාණය ඒකායන අරමුණ කරගත් පැවිදි පිරිසකට පමණක්‌ සීමා වී තිබුණු ශාසනය මෙලොව පරලොව උභයාර්ථ සාධනය අරමුණු කරගත් ගිහි පිරිසට ද ගැළපෙන සේ බෞද්ධ චින්තනය සකස්‌ කර ගැනීමයි. ඒ අනුව සිඟාලෝවාද, ව්‍යග්ඝපඡ්ජ, පරාභව, පත්තකම්ම යනාදී සූත්‍ර සිය ගණනක්‌ බුදු හිමියන් විසින් දේශනා කරනු ලබනුයේ මෙම නව ශාසනික ප්‍රවණතාව නිසාම ය.

බුද්ධ කාලීන බුදු සමය කොතරම් ජනප්‍රිය, ආකර්ෂණීය ඉගැන්වීමක්‌ වශයෙන් ප්‍රචලිත වුවත් එය භාරතීය මධ්‍ය දේශයෙන් බැහැරට ව්‍යාප්ත වූ බවට ඓතිහාසික සාධක නොමැති බව සාමාන්‍ය පිළිගැනීමයි. එම නිගමනය එළැඹිය හැක්‌කේ ත්‍රිපිටකාගත ආරාම, නගර, රජ, සිටු ආදී පුද්ගල නාමාදිය මෙන්ම බුද්ධ චරිතය සම්බන්ධ තොරතුරු හුදෙක්‌ම ඉන්දීය මධ්‍ය දේශය හා සම්බන්ධ වීමයි. මේ සඳහා තවත් ප්‍රබලතම සාධකයක්‌ වශයෙන් දීඝ නිකායේ ජනවසභ සූත්‍රය පෙන්වා දිය හැකිය. එහි විවිධ ජනපදවලින් මියගිය අය ගැන කියෑවෙන අතර එම පුද්ගලයන් අයත් වන ජනපද දහතුනම (13) අයත් වන්නේ භාරතීය මධ්‍ය දේශයටයි. ක්‍රි. ව. 5 ශත වර්ෂයේ ශ්‍රී ලංකාවේ රචිත මහාවංශය වැනි ග්‍රන්ථ තුළ බුදුරජාණන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම වූ බව වාර්තා වුවත්, ඒ සම්බන්ධව කිසිදු සටහනක්‌ මුල් පාලි ත්‍රිපිටක ග්‍රන්ථ තුළ දැකිය නොහැකිය. ඒ අනුව භාරතයේ මධ්‍ය දේශයට පමණක්‌ සීමා වී තිබුණු බුදු සමය ජාත්‍යන්තර රාජ්‍යයන්ට දායාද කර දෙනුයේ ධර්මාශෝක මහාධිරාජයා විසින් ය. ක්‍රි. පූ. 3 වැනි සියවසේ තෙවැනි සංගායනාවෙන් පසු මොග්ගලීපුත්තතිස්‌ස මහතෙරුන්ගේ උපදේශකත්වයෙන් සිදු වූ මෙම මහඟු ඓතිහාසික ශාසනික කර්තව්‍යය බුදු දහම ජාත්‍යන්තරකරණයේ මුල්ම පියවර වශයෙන් පෙන්වා දිය හැකිය. භාරතය තුළත් ඉන් බැහැරත් වූ ප්‍රාදේශීය හා රාජ්‍යයන් 9 කට ධර්මදූත කණ්‌ඩායම් පිටත් කර යෑවීමෙන් වර්තමානයේ පවා ලංකාව, තායිලන්තය, බුරුමය, ලාඕස්‌, කාම්භොජ යන රටවල් ථෙරවාද බුදු සමයේ මධ්‍යස්‌ථාන වශයෙන් ක්‍රියා කරන ආකාරය ප්‍රශංසනීයයි.

බුදු දහම හා ජාත්‍යන්තර සම්බන්ධතාව ගවේෂණය කිරීමේදී මීළඟට වැදගත් වනුයේ ක්‍රි. පූ. ප්‍රථම ශත වර්ෂයේ පශ්චාත් භාගයේ හෝ ක්‍රි. ව. මුල් භාගයේදී පමණ බුදු සමය මධ්‍යාසියාව හරහා චීනය, කොරියාව හා ජපානය යන රටවල්වලට පැතිරි යැමයි.

බුදු සමයේ මෑත කාලීන ව්‍යාප්තිය

බුදු දහම කොතරම් සක්‍රීය හා ආකර්ෂණීය වුවත් එය සීමා වී තිබුණේ ආසියාවට පමණි. බුදු දහම හා මුලින්ම සම්බන්ධතා ඇති කර ගත් මුල්ම බටහිර පිරිස වශයෙන් ග්‍රීකවරුන් පිළිගැනේ. යුදකාමී මහා ඇලෙක්‌සැන්ඩර් රජතුමා නිසා ග්‍රීක සංස්‌කෘතිය ඉන්දියාවටත් එසේම ඉන්දියානු සංස්‌කෘතිය හා දර්ශනයන් බටහිර ලෝකයටත් පැතිරී යැමට මං පෙත් විවර වූයේය.

යුද්ධය කොතරම් කුරිරු වුවත් සමහර විට ඉන් සිදුවන යහපත් ප්‍රතිඵල ද වේ. රජුන් විසින් රටවල් ආක්‍රමණය කළ පසු සංස්‌කෘතික හා දාර්ශනික චින්තාවන් අතර සිදුවන සම්මිශ්‍රණය නොවැළැක්‌විය හැකිය. එසේම මුහුදු වෙළෙඳුන් හා සංචාරකයන් විසින් ද විශාල සේවයක්‌ බුදු දහම බටහිරට ව්‍යාප්ත වීම උදෙසා සිදු කළ බව පැවසිය හැකිය. මේ මාර්ගවලින් බෞද්ධ පුරාවෘත්ත, ක්‍රිස්‌තියානි පුරාවෘත්ත, බෞද්ධ භගවාන් හා බෝධිසත්ත්ව පුරාවෘත්ත ක්‍රිස්‌තියානි පුරාවෘත්ත සමඟ සම්මිශ්‍රණය වූ බව පිළිගැනේ. එනම් බර්ලාම් සහ ජෝසµdන් ගේ ක්‍රිස්‌තියානි පුරාවෘත්තය බෞද්ධ භගවාන් හා බෝධිසත්ත්ව පුරාවෘත්තයෙන් සකස්‌ කර ගන්නා ලද්දකි. තවත් එසේ ක්‍රිස්‌තියානි ශාන්තුවරුන් හා සම්බන්ධ කොට සංස්‌කරණය කරගත් පුරාවෘත්ත අතර හ්‍යqබර්ටුස්‌ ජූලියානුස්‌ යන ආගමික නායකයන් වැදගත් වේ. ක්‍රිස්‌තියානි දේවධර්මයට අනුව ක්‍රිස්‌තුන් වහන්සේ අසාමාන්‍ය දිව්‍යමය චරිතයකි. එසේ මූර්තිමත් කරගනු ලබනුයේ බෞද්ධ පතපොතේ එන නිග්‍රෝධමිග ජාතකයේ බලපෑමෙන් බව පැවසේ. මෙබඳු අපැහැදිලි හා එතරම් විශ්වසනීයත්වයක්‌ නොමැති සාධක මත පදනම් වූ බුදු දහම හා බටහිර ලෝක අතර සම්බන්ධතා පිළිබඳ පර්යේෂණ කොට කරුණු ඉදිරිපත් කළ දර්ශනිකයන් වශයෙන් 18, 19 සියවස්‌ තුළ විසු ස්‌කොපෙන්හුර් සහ නීටාෂෙ පෙන්වා දිය හැකිය.

මෑත කාලීන බුදු සමය වශයෙන් සාමාන්‍යයෙන් අදහස්‌ කරනු ලබන්නේ 18 වැනි සියවසේ අග භාගයෙන් පසු කාලයට අයත් බුදු දහමයි. විශේෂයෙන්ම 19 වැනි සියවසේ සිද්ධ වූ දේශපාලනික, ආර්ථික හා තාක්‍ෂණික පෙරළි නිසා බුදු දහම බටහිරට ව්‍යාප්ත වී ගිය ආකාරය මෙහිදී අවධාරණය කෙරේ. මීට ශතවර්ෂ දෙකහමාරකට පමණ පූර්වයේ දී බුදුq දහම නූතන ලෝකයට ව්‍යාප්ත වීමට බලපෑ හේතු සාධක රාශියක්‌ පෙන්වා දිය හැකිය. ඒවා මෙසේය.

i. බුදු දහම ඉගෙනීම සඳහා බටහිර උගතුන් තුළ ඇති වූ කැමැත්ත

ii. අනගාරික ධර්මපාලතුමන් විසින් ආරම්භ කරන ලද ජාතික හා ආගමික ක්‍රියාකාරකම්.

iii. බෞද්ධ ධර්මදූත ව්‍යාපාරයක්‌ ආරම්භ වීම විශේෂයෙන් ම ශ්‍රී ලාංකේය භික්‍ෂුන් වහන්සේ විසින්

iv බෞද්ධයන් බටහිරට විසිරී යැම.

v. ථෙරවාද මහායාන භේදය අමතක වීම.

vi. විවිධ පාරිසරික හේතු කාරණා.

Wednesday, March 7, 2012

මැදින් පෝදා ධර්මානුශාසනාව - නොපමාව පින් කරමු

තථෙව කත පුඤ්ඤම්පි
අස්මා ලොකා පරංගතං
පුඤ්ඤානි පතිගණ්හන්ති
පියං ඤාතීව ආගතං

(ධම්මපදය පිය වග්ගය)

සැදැහැවත්නි,

අද මැදින් පුර පසළොස්වක පොහෝ දිනයයි. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් පසු ප්‍රථම වරට උපන්ගම් ප්‍රදේශය වූ කිඹුල්වත්පුර නුවරට වැඩම කෙළේ අදවන් පොහෝ දිනයකයි. සුද්ධෝදන මහරජතුමාට බුද්ධත්වය ලැබූ ස්වකීය පුතණුවන් වූ බුදුරජාණන් වහන්සේ දැක බලා ගැනීමට මහත් ආශාවක් ඇතිවිය. එබැවින් ඒ සඳහා ආරාධනා කිරීමට ඇමැතිවරයකු සමඟ දහයක පිරිවර රජගහ නුවරට පිටත්කොට යැවීය.

එහි ගිය එම පිරිස බුදුරජාණන් වහන්සේ හමුවේ ධර්මය අසා පැවිදි වු නමුත් ආපසු කිඹුල්වතට නොපැමිණියහ. පෙර කී ආරාධනය ද අමතක කළ හ. මේ නිසා නැවතත් එවැනිම වූ පිරිසක් කිඹුල්වතට පිටත්කොට හැරී ය. එම පිරිස ද පෙර සේම බණ අසා පැවිදි වු නමුත් පෙර කී ආරාධනය අමතක කළහ.

මෙසේ වරින් වර දූත පිරිස් පිටත් කොට යවා එහි ප්‍රධාන අරමුණ ඉටුනොවූ හෙයින් නව වැනි වතාවට කාළුදායි ඇමැති ප්‍රමුඛ දහසක පිරිවර පළමුව යහ කරුණ ඉටු කරවන ලෙස පොරොන්දු කරවා එහි පිටත්කොට හැරීය. ගාථා 60 කින් යුත් අපූර්ව මාර්ග වර්ණයක් ද ඉදිරිපත් කරමින් ඔවුහු බුදුරජාණන් වහන්සේට කිඹුල්වත් නුවරට වැඩම වන මෙන් ආරාධනා කළහ.

යොදුන් 60 ක් දුර ගෙවා විසි දහසක් භික්ෂුන් වහන්සේලාද සමඟ වැඩම කළ එම කිඹුල්වත්පුර චාරිකාව නිසා විශාල පිරිසකට ධර්මාවබෝධය ලැබීමේ භාග්‍යය උදාවුණි. අදවන් පොහෝ දිනයක අප තරයේ සිත්හි තබාගත යුතු වන්නේ අකුසලින් දුරුව කුසලය කෙරෙහි වඩ වඩාත් නැඹුරු විය යුතු බවයි. අප සංසාරික ජීවිතය අඳුරෙන් ආලෝකය කරා ගෙන යාමට උපකාර වන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ නිර්මල වූ ශ්‍රී සද්ධර්මයයි.

ධම්ම පදයේ පිය වග්ගයෙහි තථෙව කථ පුඤ්ඤම්පි.... යන ගාථාවෙන් කියැවෙන පරිදි තමා විසින් මෙලොවදී කර ගන්නා ලද පින තමාටම පරලොව දී පිහිට වන්නේ පිට දේශයකට ගොස් යමක් හරිහම්බ කරගෙන ආ කෙනෙක් පිළිගනු ලබන ඥාති පිරිසක් මෙනි. තම නෑයෙක් හෝ හිතවත් කෙනෙක් පිට දේශයකට ගොස් සෑහෙන ධනයක් සපයාගෙන එන විට සියලු නෑ මිතුරෝ රැස් වෙති. ඔහු ආදරයෙන් ලැඳිකමින් පිළිගනිති. ගරු සත්කාර කෙරෙති. එය ලොව පවතින ස්වභාවයයි. පැවතිය යුතු ස්වභාවයත් එයමයි.

එසේම යමෙක් යහපත් ක්‍රියාවන්හි යෙදෙමින් යුතුකම් නිසිපරිදි ඉටුකරමින් මව්පියන්ට සලකමින්, නැති බැරි අයට හැකි පමණින් අත දෙමින්, ඊර්ෂයා ක්‍රෝධාදියෙන් තොරව, කරුණා මෛත්‍රී සහගතව ජීවිතයක් ගත කෙරේ නම් ඔහුට මතු ආත්ම භවයන්හිදී සකලවිධ සැප පහසුකම් තමන් රැස් කළ පින විසින්ම සලසා දෙයි. ඥාති මිත්‍ර පිරිසක් තමන් පිළිගන්නාක් මෙනි. මෙය කුසලයේ ප්‍රතිඵලයයි. පින් කල තැනැත්තා ඒ පින විසින්ම බබලවයි.

පිනක විපාකයක් නැතැයි නොසිතිය යුතුය. කුසලා කුසල කර්මයෝ අනුගාමික වශයෙන් අප පසුපස ගමන් කෙරෙති. එය සෙවනැල්ලක් සේය. එබැවින් අද වැනි මැදින් පුර පසලොස්වක දිනයක කුසලයන්හී යෙදීමට අධිෂ්ඨාන කරගත යුතු ය. එය අප විසින්ම අපටම කර ගනු ලබන පිහිටකි.

තෙරුවන් සරණයි !

කහඳ අමරබුද්ධි නායක ස්ථවීර
කැලිෆෝනියාවේ 
ප්‍රධාන සංඝනායක 

Tuesday, February 21, 2012


ශ්‍රද්ධාවයි එහි ඇති බලය යි

තලල්ලේ චන්දකිත්ති හිමි

ශ්‍රද්ධාව පිළිබඳව ධර්මයෙහි බොහෝ තැන්වල සඳහන් වී තිබෙනවා. ඒවාට අනුව සත්‍යාවබෝධයට මෙය කෙතරම් උපකාර වෙනවා දැයි සිතා ගත හැකි යි. ශ්‍රද්ධාව සප්තාර්ය ධනයන්ගෙන් එකක්. එසේම සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන් අතර ද පංච ඉන්ද්‍රිය ධර්ම, පංච බල ධර්ම අතර ද ශ්‍රද්ධාව ප්‍රමුඛත්වයෙන් සළකනවා.

ශ්‍රද්ධාව, භක්තිය, විශ්වාසය, පුද පූජා වැනි වචන මිනිසුන් විසින් අදහන සෑම ආගමක ම වගේ දක්නට ලැබෙන වචන කීහිපයක්. මේ වචන වලින් බුදුදහමෙහි වඩාත් ම භාවිත වන්නේ “ශ්‍රද්ධාව යි.” බුදුදහමෙහි ඉගැන්වෙන විශ්වාසය නැතිනම් ශ්‍රද්ධාවත් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. බුද්ධියට නැඹුරු වූ ශ්‍රද්ධාව හා බුද්ධියට නැඹුරු නොවූ ශ්‍රද්ධාව වශයෙන්. ආකාරවතී ශ්‍රද්ධා, අමූලිකා ශ්‍රද්ධා වශයෙන් දක්වා ඇත්තේ ඒ කොටස් දෙක යි. බුදුදහම හැමවිට ම වඩාත් අගය කරන්නේ බුද්ධිගෝචර වූ ශ්‍රද්ධාව යි.

සත්‍යාවබෝධය සඳහා යන ගමනේ දී බුද්ධියට නැඹුරුව ගමන් කිරීමයි වැදගත්. ඒ නිසා බුදුදහම තුළ ශ්‍රද්ධාව යි ප්‍රඥාව යි සමාන ව පැවැත්විය යුතු ධර්මතා හැටියට සළකන්නේ. බුද්ධියෙන් තොර ශ්‍රද්ධාව බුදුදහමෙහි අගැයීමට ලක් වන්නේ නැහැ. අන්ධ භක්තියට බුදුදහම තුළ ඉඩක් නැහැ.

ශ්‍රද්ධාව පිළිබඳව ධර්මයෙහි බොහෝ තැන්වල සඳහන් වී තිබෙනවා. ඒවාට අනුව සත්‍යාවබෝධයට මෙය කෙතරම් උපකාර වෙනවා දැයි සිතා ගත හැකි යි. ශ්‍රද්ධාව සප්තාර්ය ධනයන්ගෙන් එකක්. එසේම සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන් අතර ද පංච ඉන්ද්‍රිය ධර්ම, පංච බල ධර්ම අතර ද ශ්‍රද්ධාව ප්‍රමුඛත්වයෙන් සළකනවා.

කිලිටි සිතිවිලි සෝදා හරිමු

මුල්ලේරියාව
සිරි සුමනනන්ද පිරිවෙණේ
නියෝජ්‍ය පරිවේණාධිපති 
ගෞරව ශාස්ත්‍රවේදී 
රාජකීය පණ්ඩිත
සෝමපුර සිරිසුධම්ම හිමි

අභ්‍යන්තර, බාහිර ලෝක දෙක සම්බන්ධීකරණය වීමෙන් පුද්ගලයා තුළ ඇතිවන සිතිවිලි වල ස්වභාවය අනුව තම ජීවන ක්‍රියාදාමය සුඛිත මුදිත කර ගැනීමටත් නැතිනම් දුක් කම්කටොලුවලින් යුක්ත එකක් බවට පත් කර ගැනීමටත් හැකි වේ

නමෝ තස්ස භගවතෝ 
අරහතෝ සම්මා සම්බුද්ධස්ස
චිත්තස්ස දමතෝ සාධූ 
චිත්තං දන්තං සුබාවහං

(පිරිසුදු සිත් ඇති යහපත් ක්‍රියා ඇති තැනැත්තා තම සීලය සම්පූර්ණ කරනවා. ඔහු කරන, කියන, සිතන සියල්ලම පිරිසුදුයි.)

තිලෝගුරු බුදුපියාණන් වහන්සේ විසින් සිතේ ඒකාධිකාරයට වසඟ නොවී ක්‍රියා කිරීමෙන් උසස් ජීවන මාර්ගයක් සාක්‍ෂාත් කරගත හැකි බව වදාළ සේක. කෙනෙකු ජීවත්වෙනවා යනු සිත සිතිවිලි මුල්කොට ගත් කාය වාග් ක්‍රියාදාමයකි. මේ අනුව තමාගේ ජීවන චර්යාව සකස් වන්නේ තම සිත තුළ උපදින සිතිවිලි පදනම් වීමෙන් බව අපට පෙනේ.

ඉන්ද්‍රීය ධර්මයෝ බාහිර අරමුණු සමඟ මුහු වන විට චේතනය වීම හෙවත් සිත තුළ සිතිවිලි ඉපදීම සිදුවේ. කෙනෙකුගේ ජීවත්වීම සැකසෙන්නේ මෙසේ අභ්‍යන්තර ආධ්‍යාත්මික ලෝකය, බාහිර ලෝකය හා සම්බන්ධ වීමෙනි. එම අභ්‍යන්තර, බාහිර ලෝක දෙක සම්බන්ධීකරණය වීමෙන් පුද්ගලයා තුළ ඇතිවන සිතිවිලි වල ස්වභාවය අනුව තම ජීවන ක්‍රියාදාමය සුඛිත මුදිත කර ගැනීමටත් නැතිනම් දුක්කම්කටොලුවලින් යුක්ත එකක් බවට පත් කර ගැනීමටත් හැකි වේ. එහෙත් ඤාණවන්තයන් නිරන්තරව උත්සාහ ගනු ලබනුයේ අයහපත් සිතිවිලි වලින් නික්මී (නෙක්ඛම්ම) යහපත් සිතිවිලි පමණක් ක්‍රියාවට නැන්වීමෙන් තම ජීවිතය සුඛිත මුදිත එකක් බවට පත් කර ගැනීමටය. ඒ සඳහා අරමුණු ගැටෙන විට සිත දැකීමේ හැකියාවක් තමාට තිබිය යුතුය. එයට “විදස්සනාව“ යැයි කියනු ලැබේ. මේ අනුව සුඛිත මුදිත ජීවිතයක් ගත කිරීම සඳහා විදස්සනාවත්, අයහපත් සිතිවිලිවලින් නික්මෙන නෙක්ඛම්ම ප්‍රතිපදාවත් අත්‍යවශ්‍ය බව අවබෝධ කර ගනිමු. මෙම විදස්සනා මාර්ගයත්, නෙක්ඛම්ම ප්‍රතිපදාවත් අනුගමනය කිරීමට ගෘහ ජීවිතයෙන් ඈත් විය යුතු නැත. යමෙක් ඉන්ද්‍රීයන්ට අරමුණු ගැටෙන විට තම සිත දකින්න පුළුවන් නම් එය විදස්සනා මාර්ගයයි.එයින් කෙනෙකු තුළ සම්මා දිට්ඨියද සම්පූර්ණ වේ.